Saturday, April 22, 2023

Glimpses of World History - Jawaharlal Nehru : ලෝක ඉතිහාස සිහිවටන - ශ්‍රී ජවහර්ලාල් නේරු - අනුවාදය : ඩේවිඩ් කරුණාරත්න - පිටු දහසක ලෝක ඉතිහාස ගමන

 


මා මෙම ග්‍රන්ථය කියවීම ආරම්භ කලේ 2022 වසරේ මැයි මාසයේදීය.

1931 වසරේදී මුද්‍රිතව අවසාන සංශෝධනය ලෙස 1949 දී මුද්‍රණය වූ මෙම කෘතිය මඟින් එකල පැවති අධිරාජ්‍යවාදී විරෝධී සමාජවාදී ගැති මතවාදය ප්‍රචලිත කරයි.

නමුත් එම මතවාදයින් බිඳවැටී නවලෝකය තුළ ධනවාදය නායකත්වය ගත්තේය. සමාජවාදී රුසියාව හෙවත් සෝවියට් සමුහාණ්ඩුව බිඳවැටීමත්, ඉන්දියාව වර්තමානය දක්වා සංවර්ධනය වෙමින් පවතින රටක් බවට පත්වීමත් නිසා ජවහර්ලාල් නේරු නම් ඉන්දියාවේ ප්‍රථම අගමැතිගේ පැවති දැනුම, මතවාද හා චින්තනය මුල් සිඳීගිය බවක් හැඟේ.

කෙසේ වුවද මෙම ග්‍රන්ථය තුළ පැවති දැනුම් සම්භාරය වටිනේය.

මා විසින් නැරඹු ඉතිහාස කතාවලට අදාළ සිනමා කෘති පිලිබඳ මෙය නරඹා සිහිවන විට ඇතිවන හැඟීම වචන වලින් විස්තර කළ නොහැකිය. Kingdom of Heaven (2005), 300 (2006), Gladiator (2000), Troy (2004), Apocalypto (2006), Braveheart (1995), 1917 (2019) හා Mongol (2007) ඇතුළු චිත්‍රපට සසඳමින් මට දැනුම වර්ධනය කරගැනීමට හැකිවිය.

නුතනයේ පලවී ඇති ආචාර්ය යුවාල් නොආ හරාරිගේ පොත් ත්‍රිත්වය කියවීමට පෙර මෙම ග්‍රන්ථය කියවීමට මා තීරණය කලේ එමගින් යුග දෙකක දැනුම සන්නිවේදනය වන ආකාරය උගත හැකි බැවිනි.

මෙම කෘතියේම පළමු කොටස ලෙස "පියෙකුගෙන් ඔහුගේ දුවට යැවුණු ලිපි" (1929) කෘතිය හරහා විශ්වයේ ආරම්භය සිට මුල්ම ශිෂ්ඨාචාර බිහිවීම දක්වා උගත හැකිය. එය කුඩා පොතක් වන අතර ඒ සඳහා ඇතුළත් වන්නේ ලිපි 30 ක් පමණි.

නමුත් "ලෝක ඉතිහාස සිහිවටන" (1931) කෘතිය ලිපි 196කින් සමන්විත වන පිටු දහස ඉක්මවන දැවැන්ත කෘතියකි.

ලෝකයේ ලිඛිත ඉතිහාසයේ ආරම්භයේ සිටම තොරතුරු රැගත් කෘතියක් වන මෙය විශේෂයෙන් අරාබිය හා බටහිර ආසියාවේ වර්තමාන දේශපාලන අර්බුධයට තුඩුදුන් වසර 70ක් පැරණි ඊශ්‍රයල - පලස්තීන අර්බුධයේ මුලාරම්භය ගැන වැඩි විස්තර ඇතුළත් වේ.

තවද පළමු ලෝක සංග්‍රාමය, රුසියානු විප්ලවය, තුර්කියේ ආරම්භය, ඉන්දියානු නිදහස් සටන, සාහිත්‍යය, විද්‍යාව හා කලාවේ ගෝලීය කාර්යභාර්ය කියාදෙන මහඟු අත්පොතක් ලෙස මෙම කෘතිය හැඳින්විය හැක.

Lawrence of Arabia (1962) සහ Doctor Zhivago (1965) වැනි ඩේවිඩ් ලීන්ගේ ඓතිහාසික සිනමා කෘතිද මෙම ග්‍රන්ථය කියවන විට සිතට නැගේ.

Testament of Youth (2014), Gandhi (1982), The Last of the Mohicans (1992) හා The Patriot (2000) වැනි සිනමා කෘතිද මාගේ මනසට මෙම පොත කියවන විට සිහිවිය.

ඉතිහාසය දකුණු ආසියාතික දේශපාලකයකු විසින් ප්‍රථමවරට විවරණය කළ අවස්ථාවක් ලෙස මෙම ග්‍රන්ථය විදේශීය උගතුන් විසින් හඳුන්වා දෙනු ලැබේ.

සංවර්ධිත ඉන්දියාවක් බිහිකිරීමට නොහැකි වුවත් විනය හා මුලධර්ම ද අතින් වර්ධිත රටක් බිහිකිරීමට නොහැකි වුවත් මෙම නිදහස් ඉන්දියාවේ ප්‍රථම අගමැතිවරයාගේ මෙම ග්‍රන්ථය ඉතිහාස විවරණ ග්‍රන්ථ අතර අග්‍රඵලයකි.

විසිවැනි සියවසේ මුල් දශක තුන සමාජවාදී ගැති ලෙස විවරණය කළත් එවන් විස්තර ප්‍රමාණයක් සොයාගත හැකි එකම මුලාශ්‍ර ග්‍රන්ථයක් ලෙස මෙම කෘතිය හැඳින්විය හැක.

දැවැන්ත මෙන්ම ශ්‍රේෂ්ඨ ප්‍රයත්නයක ප්‍රතිඵලයකි.

මම මෙම ග්‍රන්ථයෙහි සිංහල මෙන්ම ඉංග්‍රීසි කෘතියද එකවර කියෙව්වෙමි. එය මාගේ දැනුම හා භාෂා ඥානය ඉහල දැමු අවස්ථාවක් ලෙස හැඳින්විය හැක. පොතේ සුළු සුළු තැන්වල පරිවර්තන දෝශ තිබුණි. Internet Archive නම් වෙබ් අඩවියෙන් සොයාගත් ඉංග්‍රීසි කෘතිය තුළ එක් පරිච්චේදයක පිටු 5ක් පමණ අඩුව පවතින. නමුත් සමස්තයක් ලෙස ගත්කල ග්‍රන්ථයෙන් 95% ක් පමණ නිවැරදිව පරිවර්තනය කර තිබුණි. මුලික දෝෂ වුයේ සමහර සුළු වාක්‍යය සිංහල පරිවර්තනයදී ඉවත් කර තිබීමයි. මුලික දෝෂය වුයේ ඉංග්‍රීසි ග්‍රන්ථයේ ඇති "ස්ටෙප්ප්ස්" තණබිම් සිංහල කෘතියේ මුඩුබිම් ලෙස සටහන් කිරීමයි. 



No comments:

Post a Comment