Wednesday, May 26, 2021

දැක්ම සහ සමාජ වගකීම - ආචාර්ය අජිත් රෝහණ කොළොන්නේ : හොඳ සහ නරක

 


2019 අප්‍රේල් 25 වැනි දින දෙරණ රූපවාහිනි නාලිකාවේ විකාශය වූ "Talk with Chathura" නම් වැඩසටහනේ සිදුවූ මහත් ඇන්දෝලනාත්මක සම්මුඛ සාකච්චාවට සහභාගී වුයේ මෙම කුඩා ග්‍රන්ථයේ කතුවරයාය.

ඔහු ඉන්පසු සමාජය තුළ තරමක් ප්‍රකට චරිතයක් බවට පත්වුවද වඩාත් ජනප්‍රිය වූයේ ඔහුගේ විකල්ප දේශපාලන සහභාගිත්වය නිසාය. ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලනය තුළ තුන්වන බලවේගයක් හෙවත් විකල්ප බලවේගයක අවශ්‍යතාවය මතුකරන ප්‍රධාන පෙළේ සම්පත්ධාරියකු ලෙස විද්‍යුත් මාධ්‍යයෙන් සහ සමාජ මාධ්‍යයෙන් ඉදිරියට කැපි පෙනුනු චරිතයක් වන මෙම කතුවරයාගේ භුමිකාව සහ එහි තවත් පැතිකඩක් මෙම ග්‍රන්ථයෙන් තවත් විවරණය වේ.

2019 අප්‍රේල් පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් පසු සිදුවූ රටේ තත්ත්වය පිළිබඳව බුද්ධි අංශ නිලධාරියකු ලෙස ඔහු දකින සමාජයේ සහ එහි ක්‍රියාකාරිත්වය ඔහු මාධ්‍යය හරහා එළිදරව් කළේ, Talk With Chathura නම් වැඩසටහන් සමඟයි.

නමුත් 'දැක්ම සහ සමාජ වගකීම' නම් පිටු 80ක් වූ මිල රු. 350 ක්වන කෘතිය හරහා ඔහු සමාජගත කරන්නේ වෙනත් පණිවිඩයකි.

පරිච්චේද 08ක් පුරා දිවයන්නේ කතුවරයා පැවැත්වූ මිල අයකිරීමෙන් තොරව සිදුකල දේශණයන් ගැනයි. එම දේශණ වල මුඛ්‍ය අර්ථය වන්නේ නිදහස් අධ්‍යාපනය හොඳින් තම සාර්ථකත්වය සඳහා ඵල නෙලා ගැනීමට යොදාගත හැක්කේ කෙසේද යන්නයි. කතුවරයා තමා අනුග්‍රහය යටතේ අධ්‍යාපනය හරහා දියුණුවේ ඉහළටම ගිය සිසුන් හා සිසුවියන් රැසකගේ තොරතුරු මේ කෘතිය හරහා හෙළිකර ඇත.

කතුවරයා ශ්‍රී ලංකා සමාජයේ හොඳ හා නරක යන සාධක කෙරෙහි අවධානය යොමුකරන බවක් මෙම කෘතිය හරහා කියවන්නාට පසක් වේ.

ශ්‍රී ලංකා සමාජය වර්තමානයේ මෙවන් දුෂිත සහ ඉතාමත් අවිධිමත් තත්ත්වයට පත්ව ඇත්තේ දැක්මක් තොර වීම සහ සමාජ වගකීම ඉටු නොකිරීම නිසා බව කතුවරයා පවසයි.

මෙම කෘතිය හරහා වර්තමාන වැඩිහිටි පරපුරට අනාගත පරම්පරාවන්ට තිරසාර ලෙස සමාජය හා පරිසරය ආරක්ෂා කළ යුත්තේ කෙසේද යන්න සරලව පැහැදිලි කරයි.

මෙම කෘතියේ මුලික දුර්වලතාවය එය හුදු හැඟීම් මත පදනම් වූ ස්වභාවයක් පෙන්වීමයි. එනම් හොඳ සහ නරක අතර දෝලනය සිදුවන ආකාරය පිළිබඳව ඇත්තේ ඉතා සරල න්‍යායාත්මක නොවන මතවාදයකි. නමුත් කතුවරයාගේ මතය යනු ක්‍රමයේ වෙනස්වීමක් සිදුකිරීමට ආකල්පමය සහ අධ්‍යාපනය හරහා එය ළඟා කරගත යුතුය යන්නයි. මෙම මතය ශ්‍රී ලංකාව තුළ නිදහසින් පසු (ක්‍රි. ව. 1948න් පසු) සිදුවූ දීර්ඝකාලීන කතිකාවේ දිගුවකි. එමනිසා ක්‍රමය තුළ සිදුවිය යුතු න්‍යායාත්මක වෙනස්වීමක් පිළිබඳව කියවන්නාට කුතුහලයක් ග්‍රන්ථය කියවන විට ඇතිවේ.


No comments:

Post a Comment